Notice: Only variables should be passed by reference in /home/xs7d1onnbe6c/domains/rooftopsolar.lk/html/si/includes/header.php on line 3

පසුබිම

"ගොඩනැගිලි මත සවිකරන සූර්යබල පද්ධති හරහා සූර්යබලශක්තිය උත්පාදන කිරීමේ ව්‍යාපෘතිය” මගින් ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයින් හට ගොඩනැගිලි මත සූර්ය ෆොටෝවෝල්ටයික් (PV) බල ශක්ති උත්පාදන පද්ධති සවිකර ගැනීම සඳහා දීර්ඝකාලින ණය පහසුකම් සලසා ඇත. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් ශ්‍රී ලංකා රජය වෙත ලබා දී ඇති ඩොලර් මිලියන 50 ක ණය මුදලක් හරහා විශේෂිත සහනදායක කොන්දේසි යටතේ මුල්‍ය සම්පාදන පහසුකම් සලසනු ලැබේ. මෙම ව්‍යාපෘතිය යටතේ සූර්යබල ශක්ති උත්පාදන පද්ධති කාර්යක්ෂමව සවි කරගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ ප්‍රමිතින් ඇතුලත් තාක්ෂණික හා වාණිජ රාමුවක්ද හඳුන්වා දී ඇත. මෙම ණය පහසුකම මුදල් අමාත්‍යංශය විසින් කළමනාකරණය කරනු ලබන අතර තෝරාගත් බැංකු හරහා ( PFI - සහභාගි වන මූල්‍ය ආයතන) මගින් ප්‍රතිලාභීන් වෙත ණය පහසුකම් ලබා දෙනු ලැබේ. මුදල් අමාත්‍යාංශය, විදුලි බල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය (MoPE) සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) හා එක්ව කටයුතු කරමින්, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඒකකය (PIU) විසින් මේ සඳහා අවශ්‍ය පහසුකම් සපයනු ලැබේ.

පියැසි මත සූර්යබල PV උත්පාදන පද්ධති සවි කරගැනීම මගින් නිපදවනු ලැබෙන විදුලි බලය, පහත දැක්වෙන ක්‍රම තුන යටතේ ශ්‍රී ලංකාවෙහි විදුලිය සපයන ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලිබල (පුද්) සමාගම හරහා ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කර ගත හැක.

පියැසි මත සූර්ය විදුලි උත්පාදන යෝජනා ක්‍රම :

ශුද්ධ මනුකරණ යෝජනා ක්‍රමය

ශුද්ධ මනුකරණය යනු විදුලි බල පද්ධතියට එකතු කරන විදුලිය සඳහා සූර්ය බලශක්ති පද්ධති හිමියන්ට ලබා දෙන බිල්පත් ක්‍රමයකි.

මෙයින් අදහස් වන්නේ පාරිභෝගිකයකුට තමා මාසයක් තුළ පරිභෝජනය කරන ලද ශුද්ධ විදුලි බල ප්‍රමාණය සඳහා පමණක් ගෙවීමට සිදුවන බවයි. විදුලි බල පද්ධතියට සැපයෙන සූර්ය විදුලිය මසකදී පරිභෝජනය වූ විදුලියට වඩා වැඩි නම්, ඉතිරි ශේෂය වසර 10 ක උපරිමයක් දක්වා ඉදිරියට ගෙන යා හැකිය. මෙම යෝජනා ක්‍රමය යටතේ නිපදවන ලද අතිරික්ත විදුලිය සඳහා කිසිදු මුදලක් ගෙවනු නොලැබේ.

ශුද්ධ ගිණුම්කරණ යෝජනා ක්‍රමය

නිවසක / ව්‍යාපාරික ගොඩනැගිල්ලක් මත, සොලර් පැනල් භාවිතා කර නිපදවන විදුලි බලය, එහි පරිභෝජනයට වඩා වැඩි වන්නේ නම්, එසේ අමතරව නිපදවන විදුලි බලය සඳහා පළමු වසර 7 තුළ ඒකකයට රු. 22.00 බැගින්ද, ඉන් පසුව 8 වන වසරේ සිට ඒකකයට රු. 15.50 බැගින්ද උපයෝගී සපයන්නා (ලංවිම හෝ ලෙකෝ ආයතනය) විසින් ගෙවනු ලැබේ.

පරිභෝජනය කළ ඒකක, ජනනය කළ ඒකක ප්‍රමාණයට වඩා වැඩි නම්, පාරිභෝගිකයා විසින් අතිරික්තය සඳහා පවතින විදුලි ගාස්තු අනුව නියමිත ගාස්තු ගෙවිය යුතු වේ.

ශුද්ධ අතිරික්ත යෝජනා ක්‍රමය

මෙය ගොඩනැගිලි මත සවි කරන ලද සොලර් පැනල භාවිතා කරමින් සපයන විදුලිය සඳහා ගෙවීමක් සිදුකරන ක්‍රමයකි. ශුද්ධ මනුකරණ ක්‍රමය මෙන් නොව පාරිභෝගිකයාගේ විදුලි පරිභෝජනය හා විදුලි උත්පාදනය අතර සම්බන්ධයක් නැත. ජනනය කරන ලද සහ පරිභෝජනය කරන ලද ඒකක වෙන් වෙන් වශයෙන් මීටර් දෙකක් මගින් ගණනය කරනු ලැබේ.

පවතිනා ගාස්තු අනුව පරිභෝජනය කරන ලද ඒකක ප්‍රමාණය සඳහා පාරිභෝගිකයා ගෙවිය යුතු වන අතර, උපයෝගී සැපයුම්කරු පාරිභෝගිකයා උත්පාදනය කරන ලද ඒකක සඳහා අදාළ ගෙවීම් සිදු කරනු ඇත.

Top